Uncategorized

දුම්රියේ පාඩුව පියවාගැනීම ජයගත නොහැකි අභියෝගයක්ද?

හර්ෂා සුගතදාස

පසුගිය වසරේදී ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අඩු කර, ආදායම වැඩි කරගැනීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මීට මාස කීපයකට පෙරය. ඔහු සඳහන් කළ ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුවේ  වියදම රු. බිලියන 48 සිට 42 දක්වා පහත දමාගැනීමට හැකි වී ඇත .ආදායම රු.බිලියන 2.6 සිට 11.6 දක්වා වැඩි වී තිබේ .තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් සහ වියදම් අතර පරතරය බිලියන 30 ඉක්මවන තරම් ඉහළ අගයක් වුවත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පසුගිය වසරේ අත්කරගෙන ඇති දියුණුව . බලාපොරොත්තු ඇති කරවන මට්ටමේ ප්‍රගතියකි. 

ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  ආදායම ඉහළ යෑමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ පසුගිය වසරේ දුම්රියේ ගමන් කළ මගීන් සංඛ්‍යාව වැඩිවීමයි. ඒ බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රීලංකා දුම්රිය සේවයේ නියෝජ්‍ය අධිකාරි   (වෙළෙඳ හා අලෙවි) අයි.එල්.ඩී.සී.ගුණසේකරගෙන් ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් සංඛ්‍යාලේඛනවලට අනුව   2022 වසරේ දුම්රිය මගී ආදායම රු. 8,486,241,020.72කි. එය 2023 වසරේදි රු. 12,927,195,248.48 දක්වා වර්ධනය වී තිබේ.මෙම ආදායම් වර්ධනය ප්‍රතිශතයක් ලෙස ගත්විට 52.33%කි. දුම්රිය මගී ආදායම වර්ධනය පිළිබඳව විමසා බැලීමේදි  2022 වර්ෂයේ සිට  රට තුළ ඇතිවූ  ඉන්ධන ප්‍රශ්න,  බස් ගාස්තු හා ත්‍රීවීලර් ගාස්තු තුන් ගුණයකින් පමණ ඉහළ යෑම වැනි  අර්බුද හමුවේ වැඩි පිරිසක් දුම්රිය සේවයට යොමු වී සිටින බව පෙනේ.

 “ අද හැමදේම මිල ඉහළ ගිහින් තියෙන්නේ. කෑමබීම, ඇඳුම්පැළඳුම්, ලයිට් බිල්, වතුර බිල්, ළමයින්ගේ පාසල් වෑන් ගාස්තු, බේත්හේත් හැමදෙයකම  මිල තුන් ගුණයකින් විතර  වැඩිවෙලා.ඒත් මිනිස්සුන්ගේ පඩි ඒ  විදිහමයි.ඉතින් කොහොමද අපි  ජීවත් වෙන්නේ? ඒ නිසා හැම විදිහකින්ම වියදම් අඩු කරගන්න බලන්නේ.අපි නම් වැඩට යන්න එන්න විතරක් නෙමෙයි, වෙන ඕනෑම ගමනක් යන්න තෝරාගන්නේ කෝච්චිය.බස් ගාස්තුවෙන් බාගයක් ඉතුරු කරගන්න පුළුවන්  කෝච්චියෙන් ගියාම “ යනුවෙන් පැවසුවේ රාගම පදිංචි නිර්මලා දමයන්ති පෙරේරා ය.

සමහරුන්ගේ අදහස , දුම්රියේ ගමන් කරන වැඩි පිරිසක් මාසික  වාර ප්‍රවේශපත්‍ර ලබාගත් අය බව ය. එහෙත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් සංඛ්‍යාලේඛනවලට අනුව   2023 වසරේ, දුම්රියේ ගමන් කර ඇති පිරිස අතරින්  මාසික  වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන් ප්‍රමාණය  48,217,408ක් පමණි. 60,828,059 දෙනකු ගමන් කර තිබෙන්නේ ප්‍රවේශපත් මිල දී ගෙන සාමාන්‍ය ආකාරයටය.මේ අනුව  2023 වසරේ දුම්රියෙන් ගමන් කළ වාර ප්‍රවේශපත්‍ර හිමි වූවන්ගේ ප්‍රතිශතය 44.22%කි.  ඒ අතරේදි 2022 වසරේ දුම්රිය ප්‍රවේශපත්‍ර මිලගණන් ද ඉහළ දමනු ලැබීය . එහෙත් එය බස් ගාස්තුවලට වඩා අඩුය.දුම්රිය ගාස්තු ඉහළ ගියද මගීන් බස්වලට විතැන් නොවූයේ එමනිසාය.2022 වර්ෂයට  සාපේක්ෂව  2023 වර්ෂයේ දුම්රිය මගීන් සංඛ්‍යාව  ඉහළ ගියේ  එබැවිනි.

 

නමුදු ජාඇල පදිංචි පසිඳු උඩපොල කාලයක් දුම්රියේ ගමන් කර , දැන් දුම්රිය අතහැර දමා  බස් රථයේ ගමන් කරන තරුණයෙකි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය.

“ මම කැලණිය විශ්ව විද්‍යාලයට ගියේ කෝච්චියෙන්..ජාඇල ඉඳන් කැලණියට කෝච්චියෙන් යන එක ලේසි නිසයි මම කෝච්චිය තෝරාගත්තේ.   ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයේ  රැකියාවට ආවාට පස්සේ ටික දවසක් කෝච්චියේ වැඩට ගියා. ඒත් දැන් කෝච්චියකට නැගගන්න බැරි තරම් සෙනඟ. අනික මම නගින්නේ ජාඇලින්.කෝච්චිය  ජාඇලට එනකොට පොල් පටවලා වගේ පිරිලා.කවදාවත් සීට් එකක් ලැබෙන්නෙ නැහැ.සීට් එකක් කෙසේ වෙතත් ඇතුළටවත් යන්න බැහැ.ඒ මදිවට ගොඩක් දවස්වලට කෝච්චිය පරක්කුයි. ඒ නිසා මම දැන්  බස් එකේ වැඩට යන්නේ. ඉඳගෙන යන්න පුළුවන් බස් එකක් ජාඇලින් අල්ලාගන්න පුළුවන්. කෝච්චිවල පෙට්ටි වැඩි කරලා , දෙවෙනි පංතිය මැදිරි ටිකක් දාලා හරිගස්සලා ගත්තා  නම් මම වගේ තව කට්ටිය කෝච්චියේ යන්න එනවානේ.මගීන්ට දුක් විඳගෙන යන්නේ නැතුව පහසුවෙන් යන්න එන්න තියෙනවා නම්, ඉන්ටර්සිටි කෝච්චි දැම්මා නම්  කාර්වල වැඩට යන අයත් කෝච්චියේ යන්න එයි. ඒක පාරෙ ට්‍රැෆික් එකටත් විසඳුමක්. දුම්රිය සේවය වැඩිදියුණු කරන්නත්  පුළුවන්. “දුම්රිය සේවයේ ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බලධාරින්ට පසිඳු උඩපොලගේ අදහස සැලකිල්ලට ගත හැකිය.

 යක්කල වීරඟුල ප්‍රදේශයේ පදිංචි රොෂාන් කරුණානායක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කරන අයෙකි.යක්කලින් ඕනෑම ශීඝ්‍රගාමි බස් රථයකට නැඟ කොළඹට පැමිණීමේ හැකියාව තිබුණත් ඔහු සේවයට පැමිණෙන්නේ දුම්රියෙනි.

“ මට යක්කල ඉඳලා කොළඹට බස් ගාස්තුව රුපියල් 150ක් වෙනවා. ඒත් ගම්පහින් කෝච්චියට නැග්ගාම රුපියල් 80යි.යන්නයි එන්නයි දෙකටම රුපියල් 160යි. ඒ නිසා මම මෝටර් සයිකලයෙන්  ගම්පහට ගිහින් කෝච්චිය අල්ලාගන්නවා. අනික තමයි කෝච්චියෙන් ඉක්මනින් යන්න පුළුවන්, ඒත් බස් එකේ යනවා නම් පැයකට වඩා ගත වෙනවා.. ගම්පහින් මන්දගාමි දුම්රියක නැග්ගත් විනාඩි 45කින් 50කින් කොළඹට යන්න පුළුවන්. ශීඝ්‍රගාමි දුම්රියක නැග්ගොත් විනාඩි 35න් කොළඹ. ගමන් ගාස්තුව අඩුවීම සහ ඉක්මනින් යන්න හැකිවීම නිසා මම කෝච්චියේ යන්න කොළඹ- නුවර ප්‍රධාන පාරේ ඉඳන් ගම්පහට එනවා.”    රොෂාන් කරුණානායක දුම්රියේ ගමන් කිරීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කළේ එලෙසිනි.

 කෙසේ නමුදු මේ වනවිට දුම්රියේ ගමන් කරන ජනතාවගේ සැලකිය යුතු වර්ධනයක්  පෙන්නුම් කරනු ලැබේ.ඒ බව මතු දැක්වෙන දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වේ.

                  දුම්රියෙන් ගමන් කළ මගීන් සංඛ්‍යාව 

2018 වර්ෂය                  137,524,452

2019 වර්ෂය                128,476,224

2020 වර්ෂය                65,080,012

2021 වර්ෂය                35,962,456

2022 වර්ෂය                102,732,133

2023 වර්ෂය                109,045,467

මෙම සංඛ්‍යා ලේඛන පිරික්සා බැලීමේදී  2019 වර්ෂයේ සිදුවූ පාස්කු ප්‍රහාරය, 2020 සහ 2021 වර්ෂවල ඇතිවූ කොවිඩ් වසංගතය සමඟ සිදුකළ අඟුලුලෑම් නිසා දුම්රියේ ගමන් කළ මගීන්ගේ අඩුවීමක් සිදු වූ බව අප අමතක නොකළ යුතුය.

දුම්රියේ වැඩට යන එන අය,ගමන් බිමන් යන එන අය මෙන් ම දුම්රියේ පාසල් යනෙන දරුවෝ ද සිටිති.තුඩැල්ල ක්‍රිස්තුරාජ විදුහලේ කේ. ඒ. දක්ෂිත තාරානාත්.උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

 “මම රාගම ඉඳලා ඉස්කෝලේ එන්නේ.බස් එකේ එනවා නම් රුපියල්30ක් දීලා මහබාගේට ඇවිත් එතන ඉඳන් තුඩැල්ලට රුපියල් 60ක් දීලා  එන්න ඕනෑ.ඒත් කෝච්චියේ රාගම ඉඳන් තුඩැල්ලට රුපියල් 20යි.යන්න එන්න දෙකටම රුපියල් 40යි.ඉස්කෝල ළමයින්ගේ කෝච්චි සීසන් එකට මාසෙටම  යන්නෙ රුපියල් 250යි.  ඒ නිසා අපි  කෝච්චියේ ඉස්කෝලේ එන එක අම්මලාගේ ආර්ථිකයට හොඳයි.අනික් කාරණය තමයි කෝච්චියේ විනාඩි 20ක ගමනට බස් එකේ විනාඩි 40ක් ගත වෙනවා.මගට කාලය යන එකත් හරි අපරාධයක්.” 

රාගම යනු මාර්ග දෙකකින් දුම්රිය පැමිණෙන  ශීඝ්‍රගාමි දුම්රියන් නවත්වන දුම්රිය ස්ථානයකි.එය නිර්මලා දමයන්තිට  සහ දක්ෂිත තාරානාත්ට වාසියක් වුවද ඒ වාසිය හැමෝටම නොලැබෙන්නේ ඇතැම් දුම්රිය මාර්ගවල දුම්රියක් පැමිණෙන තුරු බොහෝ වෙලාවක් බලා සිටිය යුතු බැවිනි.  

සාමාන්‍යයෙන් දිනකට ධාවනය වන දුම්රිය ගමන්වාර  සංඛ්‍යාව 346ක් පමණ වේ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් සංඛ්‍යාලේඛනවලට අනුව   ප්‍රධාන දුම්රිය මාර්ගයේ 115ක් වශයෙන්ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ 102ක් වශයෙන්ද පුත්තලම් මාර්ගයේ 30ක් වශයෙන්ද කැලණිවැලි මාර්ගයේ 18ක් වශයෙන්ද දැක්විය හැකිය.මීට අමතරව සිංහල අලුත් අවුරුදු කාලය , තලවිල මංගල්‍යය කාලය ,මහනුවර ඇසළ පෙරහර කාලය , ශ්‍රීපාද වන්දනා කාලය වැනි විශේෂ උත්සව කාලවල සහ මහජනතාවගේ ඉල්ලීම් අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ දුම්රියන් ධාවනය  වන බව අප අමතක නොකළ යුතුය.අද වන විට මේ කොයි දුම්රියත් හිස්ව ගමනේ යෙදෙන්නේ නැත…

“මමත්අවුරුදු 28ක් තිස්සේ  දුම්රියේ වැඩට යන කෙනෙක්. මම රජයේ සේවයේ නිරත  වී සිටින කෙනෙක් නිසා රජයේ සේවකයන්ට ලැබෙන  දුම්රිය මාසික  ප්‍රවේශපත්‍රය ගාස්තුවෙන් 1/3ක වටිනාකමට ලැබෙන්නේ.ඒ නිසා තමයි මම වැඩට යන්න එන්න දුම්රිය තෝරාගත්තේ.ඒ කියන්නේ ආර්ථික වාසිය ගැන හිතලා තමයි මම දුම්රිය තෝරාගත්තේ.සීසන් එක නැතත් බස් එකේ යනවාට වඩා කෝච්චියේ යන එක ලාභයි.මට බස් එකේ එනවා නම් කළුතර ඉඳලා කොල්ලුපිටියට රුපියල් 176යි. කෝච්චියේ යන්නේ රුපියල් 100ක් විතරයි. අනික දුම්රිය ගමන ඉක්මන්. බස් එකේ එනවා නම් පැය1යි විනාඩි 45ක් යනවා. මන්දගාමි දුම්රියක නැග්ගත් පැයයි විනාඩි 10කින් එන්න පුළුවන්. කෝච්චියේ එනකොට මුදල් වගේම කාලයත් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කෝච්චියේ වැඩට යෑම එක අතකින් හරි විනෝදජනකයි.හැමදාම එකම කට්ටියක් එක්ක යන්නෙ එන්නේ.එකට එකතු වෙලා විනෝද ගමන් යනවා. පාටිවලට යනවා.මම වැඩට යන කෝච්චිවල කාන්තා මැදිරියකුත් තිබුණා.හැබැයි මම කවදාවත් කාන්තා මැදිරියේ ගියේ නැහැ.” මෙලෙස පැවසුවේ උතුරු කළුතර සිට පැමිණෙන කොළඹ මහ නගර සභාවේ තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවයේ නියුතු සුජීවනි පුංචිහේවා ය.

ශ්‍රීලංකා දුම්රිය සේවයේ කාන්තා මැදිරි ගැන කතා කිරීමේදි   කාර්යාලයීය දුම්රිය කිහිපයක කාන්තාවන්ට වෙන් කළ දුම්රිය මැදිරි තිබිණි. ගාල්ලේ සිට කොළඹ බලා පැමිණෙන සමුද්‍රදේවි , මාතර සිට කොළඹ බලා පැමිණෙන රුහුණුකුමාරි, මහව සිට කොළඹ බලා පැමිණෙන කාර්යාලයීය දුම්රියේ සහ පුත්තලම සිට කොළඹ බලා ධාවනය වන කාර්යාලයීය දුම්රියේ  කාන්තාවන්ට වෙන් වූ මැදිරි දක්නට ලැබිණි.නමුත් කාන්තා මැදිරි හිස්ව ගමන් ගනිද්දි සෙසු මැදිරිවල කාන්තාවන්  සහ පිරිමින් සහයෝගයෙන් ගමන් කිරීම නිසා  පුත්තලම දුම්රියේත් මහව දුම්රියේත් කාන්තා මැදිරි අහෝසි වී ගියේ නිරායාසයෙනි. ඒ පිළිබඳව කළ විමසීමකදි කාන්තාවන්  සඳහන් කළේ ඔවුන් පාන්දර ජාමයේ එනවිටත්  රෑ බෝවි යනවිටත්  කාන්තාවන් තනිවම දුම්රිය මැදිරිවල ගමන් කරනවාට වඩා පිරිමින් සමඟ ගමන් කිරීම ආරක්ෂිත බවයි.මේ අතරවාරයේදි 2019 මාර්තු 08 වෙනි දින එවකට පැවති රජය විසින්  නැවතත් කාන්තා දුම්රිය මැදිරි වෙන් කරනු ලැබූවේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිවය. මීරීගම- කොළඹ,  රඹුක්කන- කොළඹ, මහව- කොළඹ,  පුත්තලම-කොළඹ, බෙලිඅත්ත සිට පැමිණෙන සාගරිකා දුම්රිය  සහ ගාල්ල සිට පැමිණෙන සමුද්‍රදේවි දුම්රිය යන දුම්රියවල මෙම කාන්තා මැදිරි වෙන් කෙරිණි.මෙම කාන්තා දුම්රිය මැදිරිවලට ආරක්ෂක නිලධාරින් පවා යොදවා සිටියේ මෙම මැදිරිවලට නඟින පිරිමින්ව වෙනත් මැදිරිවලට පිටත් කර යැවීමටය.නමුත් දුම්රිය ආරක්ෂක නිලධාරින් නොමැති විට මෙම කාන්තා මැදිරිවලට පුරුෂ පක්ෂය ගොඩ වූහ. කාන්තාවන් ඊට එරෙහිවන අවස්ථාවලදි පිරිමින්ගේ තර්කය වූයේ අනෙක් මැදිරිවල ගමන් ගන්නා කාන්තාවන්ව ඒවායෙන් ඉවත් කර, කාන්තා මැදිරියට ඇතුළු කරගත යුතු බවයි.දුම්රිය මැදිරි ගණන එලෙසම තිබියදි කාන්තාවන්ට පමණක් මැදිරියක් වෙන් කිරීම අසාධාරණ බවත් එසේනම් දුම්රියට අලුතින් මැදිරියක් එකතු කළ යුතු බවත්  ඇතැම් අය පෙන්වා දුන්හ.  කෙසේ හෝ 2020 මාර්තු මාසයේ රටම වෙළාගත් කොවිඩ් වසංගතය  සහ ආණ්ඩු පෙරළිය සමඟ මෙම කාන්තා මැදිරි ද නැති වී ගියේය.

කාන්තා මැදිරිය අහිමි වීම කිසිවකුට දුම්රිය ගමනාගමනයට බාධාවක් වුණේ නැත. විශේෂයෙන්  කාර්යාලයීය  දුම්රිය තුළ ඔවුහු  එකට කාබී විනෝදයෙන් ගමන්කරති.  යාල්දේවි, මීනගයා  දුම්රියවල දමිළ මගීන් සමඟ සිංහල මගීන්ට නිදහසේ ගමන් කරනවා සේ ම රුහුණු කුමාරි, උඩරට මැණිකේ දුම්රියවල  සිංහල මගීන් සමඟ දමිළ, මුස්ලිම් මගීහු  නිදහසේ ගමන් කරති. තිස් වසරක යුද්ධය පැවති කාලයේදිත් පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදිත් සුපුරුදු පරිදි සිංහල-  දමිළ, සිංහල-  මුස්ලිම් කවුරුත් එක පොදියට ගමන් කළහ. 

“ දුම්රියේ වැඩට යෑම ලේසියි. වාසියි. විනෝදයි.හැබැයි ඒ සේරම ඉවර වෙනවා ස්ට්‍රයික්වලදි.උදේට කෝච්චියෙන් වැඩට එනවා. හවස ගෙදර යන්න ගියාම ස්ට්‍රයික්. මම දන්න අය ඉන්නවා ගාල්ල වගේ දුර ඉදන් කෝච්චියේ වැඩට  යන එන අය . ඒ අය සීසන් අරන් එන නිසා ලොකු මුදලක් අතේ තියාගෙන එන්නේ නැහැ.ඒ නිසා බස් එකේ යන්න අතේ සල්ලි නැහැ.කීයට හරි එන කෝච්චියේ යන්න කියලා ස්ටේෂන් එකේ ඉඳලා පාපුවරුවේ එල්ලිලා  යනවා. බදුල්ල, මඩකළපුව වගේ දුර යන කෝච්චිවල ආසන වෙන් කරපු කට්ටිය වැටෙන අමාරුව මම ඇස් දෙකින් දැකලා තියෙනවා.මිනිස්සුන්ව අමාරුවේ  දමන වර්ජන  නවත්තනවා නම් ගොඩක් හොඳයි.” යනුවෙන් අදහස් පළකළේ  යක්කල වීරඟුල පදිංචි රොෂාන් කරුණානායක ය.

    දුම්රිය අවලංගුවීම්, දුම්රිය පීලි පැනීම් නිරන්තරයෙන් සිදු වුවද තවමත් දුම්රිය මගීන්ට  දුම්රිය එපා වී නැත.ආර්ථික වාසිය, කාලය ඉතිරිකර ගැනීමට හැකිවීම සහ මිතුරු සමාගම් වැනි කාරණා නිසා අදටත් දුම්රිය මගීහු  තනි කකුලෙන් හෝ එල්ලී දුම්රියේම ගමන් කරති. දිනෙන්දින පාඩු ලබන බවට මැසිවිලි නගන දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි වූ දුම්රිය මගීන් සහ ආදායම  ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතුය. හදිසි දුම්රිය  වර්ජන, දුම්රිය අවලංගුවීම්,නිරන්තරයෙන් සිදුවන  දුම්රිය පීලි පැනීම්  යනාදි හේතුන් නිසා මගීන්ට දුම්රිය එපා වෙන්නට බැරිකමක් නැති බව ඔවුන් තේරුම් ගත යුතුය.

The views and opinions expressed in this publication are those of the authors. They do not purport to reflect the opinions or views of the Sri Lanka Press Institute.

Related Posts